පුද්ගලික දෘෂ්ටි අත්හැර ධර්මය පෙරට ගන්න.


බුදුරජාණන් වහන්සේ පහළ වෙලා, ප්‍රථම රහතන් වහන්සේලා හැටනමට උන්වහන්සේ දේශනා කළේ “(දේසේථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්‍යංජනං, කේවලං පරිපුණ්ණං, පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ) මහණෙනි, මුල මැද අග පිරිසිදු, අර්ථ සහිත, පැහැදිලි වචනවලින් යුක්ත, පිරිපුන් නිවන් මග කියන්න.” කියලයි.

එතකොට පිරිපුන් නිවන් මග දේශනා කළේ බුදුරජාණන් වහන්සේනේ. එහෙම නම්, අපට පිරිපුන් නිවන් මග කියන්න කියලා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, අපි මේ වෙන වෙන දේවල් කියලා හරියන්නේ නෑ. අපි මේ පිරිපුන් නිවන් මග කියන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේගේ දේ. එහෙම නම් අපි ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ, බුදුරජාණන් වහන්සේ ව සරණ යාමෙන්. දැන් වෙන්නේ ශ්‍රාවකයෝ බවට පත් වෙලා, එයා ශාස්තෘන් වහන්සේ පිළිබඳ තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන්න විග්‍රහ හදා ගන්නවා. මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේටත් කේන්දර හැදුවනේ. බලන්න, තමන්ගේ දෘෂ්ටියට ගැළපෙන්න හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒක තමයි කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ එක කියන්නේ නෑ.

අනුසය මේ වගේ එකක්…

මධුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා හරි ලස්සන එකක්. ඒ තමයි “(චක්ඛුඤ්ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා) ඔය ටික ගැන ලස්සන විස්තරයක් කරලා ඊ ළඟට ඒකේ සප්ත අනුසය ගැන විස්තරයක් තියෙනවා. ‘අනුසය’ අපට හොයාගන්න බෑ. ගොරෝසු උදාහරණයක් කිව්වොත්, ඔන්න පොඩි දරුවෙක් ඉන්නවා. මේ පොඩි දරුවගේ දත් කොහෙද කියලා ඇහුවොත්, දත් තියෙන තැනක් නෑ. එක දතක්වත් නෑ. හැබැයි ඒ පොඩි දරුවගේ නියම කාලය එනකොට දත් එනවා. ඒ දත් කොහෙද තිබුණේ කියලා අපට කියන්න බෑනේ. ඒ වගේ ම අපි පුංචි කාලයේ අපට රැවුල නෑ. නියම කාලය වෙනකොට රැවුල එනවා, කෙස් එනවා. කොහෙද තිබුණේ කෙස්? අනුසය මේ වගේ එකක්. චූටි ළමයගේ හම ගලවලා බැලුවට රැවුලක් නෑනේ. විදුරුමහේ දත් හොයන්න බෑනේ. නමුත් නිසි කලට ඒක එනවා.

අනුසය මේ වගේ එකක්. ප්‍රකට නෑ. අභ්‍යන්තරයේ තියෙනවා, අවස්ථානුකූලව ඉස්මතු වෙනවා. එතකොට ඒ අනුසය ප්‍රහාණය වෙන්න නම්, සීල, සමාධි, ප්‍රඥා වැඩෙන්න ඕන. සමාධිය තුළ සිත වැඩෙනවානේ. බුදුරජාණන් වහන්සේ වදාළේ, “සමාධිය තුළ (චිත්තං භාවේති) සිත වැඩෙයි.” එතකොට ඒ වැඩුණු හිතේ තමයි ප්‍රඥාව උපදින්නේ. (සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති) “මහණෙනි, සමාහිත සිත් ඇති එක්කෙනා තමයි ඇත්ත තත්ත්වය දකින්නේ.”

එතකොට ඇත්ත තත්ත්වය දකින්න සමාධිමත් හිතක් ඕන. අනිත් එක තමයි සමාධියට ගැළපෙන ආකාරයට ප්‍රඥාව වැඩිලා නැත්නම් සමාධියක් ඇති වුණු පමණින් ප්‍රඥාවක් නෑ. අපි කියමු මෙහෙම. ඔන්න කෙනෙකුට සමාධියක් වැඩුණා කියමු. නමුත් ඔන්න ප්‍රඥාව නෑ. දැන් ප්‍රඥාව නැති නිසා මෙයා ප්‍රඥාව පතනවා. මෙයා පතනවා කියමු, ‘මට ප්‍රථම මාර්ග ඵලය ලැබේවා! මම ප්‍රථම මාර්ග ඵලයට පත් වේවා!’ කියලා. ඔන්න මෙයාගේ සමාධියේ ම යම් වෙනස්කමක් ඇතිවෙනවා. එතකොට මෙයා රැවටෙනවා, ‘මාර්ග ඵලයට පත් වුණා’ කියලා.

බුද්ධ දේශනාවේ නැති දෙයක් පිළිගන්න එපා…!

ඒ වගේ සමහර යෝගීන් මට හමුවෙලා තියෙනවා. එක අම්මා කෙනෙක්ට භාවනා උපදෙස් දෙන කෙනෙක් කියලා ඒ අම්මා අනාගාමී කෙනෙක් කියලා. ඉතින් මේ අම්මා කියලා තියෙනවා “ස්වාමීනී, මට සැකයි මට රාගාදී කෙලෙස් ඇතිවෙනවා” කියලා. “නෑ… නෑ… ඒක වෙන්න බෑනේ. ආයෙ අධිෂ්ඨාන කරලා බලන්න.” කිව්වලු. හිත සමාධිමත් වෙනවා. ඔන්න සමාධිමත් වෙලා මං ඉන්නේ කොයි ඵලයේ ද කියලා බලනවා. සිංහල අකුරුවලින් සිතට මැවිලා පේනවා ‘අනාගාමී’ කියලා. ඉතින් ආයෙමත් ඒ දෘෂ්ටිය ගත්තා.

බුද්ධ දේශනාවක එහෙම පෙන්නලා නෑනේ. බුද්ධ දේශනාවල තියෙන්නේ ‘(භාවිතා බහුලීකතා) භාවිත කරන්න ඕන. බහුල වශයෙන් කරන්න ඕන. නිරන්තරයෙන් කරන්න ඕන’ කියලනේ. ‘වාසිජටෝපම සූත්‍රය’ කියලා හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයේ විස්තර කරන්නේ “මහණෙනි, වෑයක් ගත්තොත් වෑයේ මිට පාවිච්චි කරන කෙනා, වෑයෙන් සැහැගෙන සැහැගෙන කාලයක් යනකොට තේරෙනවා, මිට ගෙවිලා කියලා.”

එක තැනක උන්වහන්සේ දේශනා කරනවා, “මහණෙනි, කිකිළියක් ඉන්නවා, මේ කිකිළිට බිත්තර අටක් හෝ දහයක් තියෙනවා. මේ කිකිළි ඒ බිත්තර රකිනවා. නමුත් කිකිළිට අදහසක් නෑ ‘අද බිත්තර මෝරාවා…! හෙට මේ පැටව් නිය සිළෙන් සිදුරු කරගෙන පැමිණේවා!’ කියලා. කිකිළි කරන්නේ කිකිළිගේ ගඳ ගස්ව ගස්වා බිත්තරය උණුසුම් කරන එක විතරයි. ඒ වගේ මහණෙනි, මේකේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. මේක වෙලාවට එයි.” එහෙම ධර්මයක් විකෘති වුණානේ. එතකොට තේරුම් ගන්න මේ ශාසනයේ විකෘතිය කොහෙද තියෙන්නේ කියලා.

ශුන්‍යත්වය කිව්වේ අනාත්මයට ද…?

පිටින් බලන ශූන්‍යත්වය අනාත්මය තමයි. රහතන් වහන්සේගේ ජීවිතය තුළ ශූන්‍යයි. මොකක්ද ශූන්‍ය? රාගය ශූන්‍යයි, ද්වේෂය ශූන්‍යයි, මෝහය ශූන්‍යයි. ඒකට තමයි ශූන්‍යයි කියලා කියන්නේ. ඒ ශූන්‍යත්වය උන්වහන්සේ අත් විඳිනවා. ඊ ළඟ ශූන්‍යත්වය තමයි (අත්තානං වා අත්තනියං වා සුඤ්ඤෝ) ආත්මයෙනුත් ශූන්‍යයි. ආත්මයට අයත් දෙයිනුත් ශූන්‍යයි. එතකොට ගහක ගලක වුණත් එයා දකින්නේ ආත්මයක් නැති බවක්. අනාත්ම බව තුළ එයා දකින්නේ හේතු නිසා හටගන්නවා හේතු නැතිවෙන කොට නැතිවෙනවා. එතැන ආත්මයක් නෑනේ. එතකොට බාහිර බලන්නේ බාහිර දේ ආත්මයෙනුත් ශූන්‍යයි. ආත්මයට අයත් දෙයිනුත් ශූන්‍යයි. රහතන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන්නේ රාග, ද්වේෂ, මෝහවලින් ශූන්‍ය බවක්.

සාමාන්‍ය අපි වගේ මනුස්සයන් දිහා බලද්දී තියෙන්නේ එයාගේ ඇස, කන, නාසය, දිව කය මනසේ එයාගේ ආත්මයෙනුත් ශූන්‍යයි. ආත්මයට අයත් දෙයිනුත් ශූන්‍යයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තා’ කියලා. එතැන සංඛාර කියන එක දැම්මේ නෑ. ‘සබ්බේ ධම්මා අනත්තා’ කියලා දැම්මා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත් ආත්මයක් නෑ. දැන් ඒකෙ පැටලෙනවානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළත් නිත්‍ය වූ දෙයක් නෑ. ඒක සංඛතයක්. ඒකත් ආත්මය හෝ ආත්මයට අයිති දෙයින් ශූන්‍යයි. එතකොට ඒක හේතුවක් විදිහටයි උපද්දවන්නේ. ඉතින් මේ කාරණාව ගැන හරි වැටහීමක් ගන්න සූත්‍ර දේශනා ම අධ්‍යයනය කරන්න ඕන.

අත්දැකීම ලබන තැන ඉඳලා සිහිකරන්න…

පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ බලන්න කියලා තියෙන්නේ අපි අත්දැකීම ලබන තැන ඉඳලා. අපි ලබන අත්දැකීම තමයි ජරා මරණ. අපි ජරාවට පත්වෙමින් යනවානේ. ජරාවට පත් වීම ළඟට තියෙන්නේ මරණය. මරණය උන්වහන්සේ විස්තර කරලා තියෙන්නේ (චුති, චවනතා, භේදෝ, අන්තරධානං, මච්චු මරණං, කාලකිරියා, ඛන්ධානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ඉදං වුච්චති භික්ඛවේ මරණං) චුතවෙන බව. බිඳී යන බව, පංච උපාදානස්කන්ධයන්ගේ බිඳී යන බව, මෘත ශරීරයේ බහා තැබීම කියලයි. මේ ඔක්කොම උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මරණය හැටියට. එතකොට මේ මරණයට පත් වීමේ භීතිය ධර්මය අවබෝධ නොකරපු හැමෝගෙ ම හිතේ තියෙනවා. එතකොට එයා ඒක විඳිමින් තමයි ජරාවට පත් වෙන්නේ.

ඊ ළඟට ඒ ජරා මරණ, සෝක වැළපීම්, දුක් දොම්නස් උපායාස තියෙන්නේ කුමක් නිසා ද කියලා විමසන්න කියනවා. එතකොට එයා අල්ල ගන්නවා කියනවා, ඉපදීම නිසා කියලා. ඉපදුණේ මක් නිසා ද කියලා විමසන්න කියනවා. ඉපදුණේ භවය නිසයි කියලා එයා අල්ල ගන්නවා. භවය හටගත්තේ මක් නිසා ද උපාදාන නිසා. උපාදාන හටගත්තේ මක් නිසා ද තණ්හාව නිසා. මේ විදිහට විග්‍රහ කරගෙන අවිද්‍යාව ගාවට යන්න කියනවා. මේ ආකාරයට කියනවා අවිජ්ජා පච්චයා සංඛාරා කියලා වෙන්නේ. එහෙම මිසක් උන්වහන්සේ බුද්ධ දේශනාවල පටිච්ච සමුප්පාදය තුනට හතරට කඩලා නෑ.

අටුවාව වුණත් අපි බුද්ධිමත් ව පරිහරණය කළ යුතුයි. මොකද හේතුව, බුදුරජාණන් වහන්සේට ඇතිනොවුණු අවබෝධයක් පස්සේ කාලයේ ඇති වෙයි ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අභියෝග කරන්න පුළුවන් කාට ද? පස්සේ කාලයේ පහළ වූ භික්ෂූන් වහන්සේලාට පුළුවන් ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අභියෝග කරන්න හෝ ‘ඒ අවබෝධයේ මේ ටික අසම්පූර්ණයි… ඒ නිසා මේක එකතු කරන්න ඕන…’ කියලා එකතු කරන්න? එහෙම නම් අපට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ ව සැක පහළ වෙන්න එපායැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නැති එකක් අපි අලුතින් දාන්න නම් උන්වහන්සේගේ දේශනාව ගැන අපට සැක තියෙන්න එපැයි. මේ සැකෙන් ඇති වූ ප්‍රශ්න ගොඩක්නේ අද තියෙන්නේ.

සූත්‍රයේ බහා බලන්න… විනයෙහිලා සසඳන්න…

මට එක අටුවා කතාවක් හම්බ වුණා. මං හිතන්නේ ඒක තියෙන්නේ සුත්ත නිපාත අට්ඨකතාවේ දී මට හම්බවුණේ. හිතාගන්න බැරි කතා. දැන් අටුවා සිංහල පරිවර්තන තියෙන නිසා ඕන කෙනෙකුට ඒක බලලා කියවන්න පුළුවන්. ඒකේ තියෙනවා එක රජ කෙනෙක් බණ අහන්න යනවා අනුරාධපුරයේ. එතකොට භික්ෂූන් වහන්සේනමක් ධර්මය දේශනා කරද්දී ඒ භික්ෂූන් වහන්සේට රජ දුව ගැන හිතක් පහළ වෙනවා. ඉතින් රජ්ජුරුවෝ මේක දැනගෙන ඒ භික්ෂූන් වහන්සේටයි, රජ දුවටයි එකට වාසය කරන්න කියලා තිරවලින් වහනවාලු. මේ බණ අහපු භික්ෂුවගෙන් මේ වගේ එකකට තිරවලින් වහලා “හා… දැන් ඔය දෙන්නා අඹු සැමියන් වශයෙන් ඉන්න” කියලා කියයි ද? ඒක ප්‍රායෝගික කතාවක් ද?

ඊට පස්සේ කියනවා, තිරවලින් වහලා පැයකින් හමාරකින් දෙන්නගේ සද්දයක් නෑ. තිරය ඇරලා බැලුවාලු. බලන කොට දෙන්නා රාගය වැඩි වෙලා මැරිලා හිටියාලු. මේ අටුවා කතාවක්. ඉතින් මේවා කොහොමද අපි විශ්වාස කරන්නේ? දැන් ඔන්න සිංහල පරිවර්තන තියෙනවානේ ඕන කෙනෙකුට පුළුවන් කියවලා බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් ඒ අටුවාව බුද්ධිමත් ව පරිහරණය කරන්න ඕන. අටුවාවේ තියෙන කාරණා සූත්‍රයේ බහා බලන්න ඕන. විනයෙහිලා සසඳන්න ඕන. සැසඳෙන්නෙ නැත්නම් අපි ඒක අයින් කරන්න ඕන. අපි නිසැක වශයෙන් ම තියාගන්න ඕන බුද්ධ දේශනාව. මොකද බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ප්‍රජාපතී ගෞතමියට, උපාලි ස්වාමීන් වහන්සේට වදාළා “ප්‍රජාපතී යම් ධර්මයක රාග, ද්වේෂ මෝහ ප්‍රහාණය කිරීමක් ගැන කතා නොකරයි ද මතක තියාගන්න ඒක තථාගතයන්ගේ ධර්මය නෙවෙයි.” එතකොට රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්නේ නැතුව පාරමී පුර පුර යන්න කියලා කියනවා නම් මතක තියා ගන්න ඒක තථාගත ධර්මය නොවෙයි.

සාදු…! සාදු…! සාදු…!

‘නමෝ බුද්ධාය’ සජීව සදහම් කතිකාවත ඇසුරින්,
– පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Comments

Most Popular